32වෙනි පරිච්ඡේදය
සබත් නීතියට එකඟ වන්නේ කුමක්ද?
යේසුස් තවත් සබත් දවසකදී ගලීල මුහුද අසල පිහිටි සිනගෝගයකට යනවා. එහිදී ඔහු දකිනවා වෑරුණු අතක් ඇති මිනිසෙක්ව. යේසුස් ඔහුව සුව කරයිද නැද්ද කියා ලියන්නන් සහ පරිසිවරුන් ඉතා විමසිල්ලෙන් බලා සිටිනවා. අන්තිමට ඔවුන් අසන්නේ, “සබත් දවසේ සුව කිරීමෙහි වරදක් නැද්ද” කියායි.
සබත් දවසේදී සුව කළ හැක්කේ ජීවිතය අනතුරේ හෙළන තත්වයක් උද්ගත වුවොත් පමණයි කියා යුදෙව් ආගමික නායකයන් විශ්වාස කරනවා. උදාහරණයක් හැටියට, ඔවුන් උගන්වන්නේ සබත් දවසක බිඳුණු අස්ථියක් සකස් කිරීම හෝ උලුක්කුවකට වෙළුම් පටි බැඳීම නීති විරෝධී කියායි. ඒ නිසා යේසුස්ට විරුද්ධව චෝදනාවක් එල්ල කිරීමට පුළුවන් වන සේ ලියන්නන් සහ පරිසිවරුන් ඔහුගෙන් ප්‍රශ්න අසන්න පටන්ගන්නවා.
නමුත් ඔවුන්ගේ සිතුවිලි යේසුස් දන්නවා. සබත් දවසේදී වැඩ කිරීම තහනම් කරන නියමය උල්ලංගනය කිරීමක් වශයෙන් ඔවුන් සම්මත කරගෙන තිබෙන්නේ අන්තවාදී මෙන්ම ශුද්ධ ලියවිල්ලට පටහැනි මතයක් බවත් ඔහු දන්නවා. ඉතිං යේසුස් ලොකු ගැටුමකට මුල පුරමින් වෑරුණු අත ඇති මනුෂ්‍යයාට පවසන්නේ “නැඟිට මැදට එන්න” කියායි.
දැන් ලියන්නන් සහ පරිසිවරුන් වෙතට හැරෙමින් යේසුස් මෙසේ පවසනවා. “ඔබ අතරෙන් එක් බැටළුවෙකු පමණක් හිමි කවර මිනිසෙකු වුවද, ඒ බැටළුවා සබත් දවසේදී වළක වැටුණොත් ඌ අල්ලා ගොඩගන්නේ නැද්ද?” බැටළුවෙක් මූල්‍ය ආයෝජනයක් නියෝජනය කරන නිසා සාමාන්‍යයෙන් ඊළඟ දවස වන තෙක් වළක සිටීමට ඉඩහරින්නේ නැහැ. එසේ කළොත් ඌ අසනීප විය හැකියි. එයින් ඔවුන්ට අලාභයක් සිදු වෙන්නත් පුළුවන්. අනික “ධර්මිෂ්ඨයා තම තිරිසනාගේ ප්‍රාණය ගැන සලකන්නේය” කියාත් ශුද්ධ ලියවිලි පවසනවා.
තත්වයන් දෙක අතර සන්සන්දනයක් කරමින් යේසුස් තවදුරටත් පවසන්නේ මෙසේයි. “එසේ නම්, බැටළුවෙකුට වඩා මිනිසෙකු කොතරම් වටිනවාද! එබැවින් සබත් දවසේදී යහපතක් කිරීමෙහි වරදක් නැත.” එවැනි තර්කානුකූල සහ අනුකම්පාවෙන් පූර්ණ තර්ක නිෂ්ප්‍රභ කිරීමට ආගමික නායකයන්ට නොහැකියි. ඒ නිසා ඔවුන් නිශ්ශබ්දව සිටිනවා.
ඔවුන්ගේ මුරණ්ඩුකමත් අඥානකමත් නිසා යේසුස් උදහසින් හා ශෝකයෙන් යුතුව වටපිට බලනවා. ඊළඟට ඔහු එම මනුෂ්‍යයාට මෙලෙස පවසනවා. “ඔබේ අත දිගු කරන්න.” එවිට මනුෂ්‍යයා ඔහුගේ අත දිගු කරන අතර එය සුව වෙනවා.
එම මනුෂ්‍යයාගේ අත සුවවීම ගැන සතුටු වෙනවා වෙනුවට පරිසිවරුන් වහාම පිටතට යන්නේ යේසුස්ව මරා දැමීම සඳහා හෙරොද්ගේ පක්ෂයේ අනුගාමිකයන් සමඟ කුමන්ත්‍රණය කිරීමටයි. මේ දේශපාලනික පක්ෂයට භක්තිමත් සද්දුසිවරුන්ගේ සාමාජිකයනුත් ඇතුළත් බව පැහැදිලියි. සාමාන්‍යයෙන්, මේ දේශපාලනික පක්ෂය හා පරිසිවරු ප්‍රසිද්ධියේ එකිනෙකාට විරෝධය පානවා. නමුත් යේසුස්ට දක්වන විරුද්ධවාදිකමේදී ඔවුන් විදහා පෙන්වන්නේ බිඳ දැමිය නොහැකි ආකාරයේ එකමුතුකමක්. මතෙව් 12:9-14; මාක් 3:1-6; ලූක් 6:6-11; NW; හිතෝපදේශ 12:10; නික්මයාම 20:8-10.
▪ යේසුස් සහ යුදෙව් ආගමික නායකයන් අතරේ විශාල ගැටුමක් ඇතිවීමට හේතු වන්නේ කුමක්ද?
▪ සබත් දවසේදී සුව කිරීම සම්බන්ධයෙන් මෙම යුදෙව් ආගමික නායකයන් විශ්වාස කරන්නේ කුමක්ද?
▪ ඔවුන්ගේ වැරදි මත නිෂ්ප්‍රභ කිරීම සඳහා යේසුස් කිනම් උපහැරණය භාවිත කරනවාද?