28වෙනි පරිච්ඡේදය
නිරාහාරව සිටීම ගැන ප්‍රශ්න කිරීම
යේසුස් ක්‍රි.ව. 30 පාස්කුවට සහභාගි වෙලා දැන් වසරකටත් කිට්ටුයි. යොහන් බව්තීස්තව සිරගෙට දමා දැන් මාස කිහිපයක් ගත වී තිබෙනවා. යොහන්ට වුවමනා වුණේ තම ගෝලයන් ක්‍රිස්තුස්ගේ අනුගාමිකයන් වෙනවා දකින්නයි. නමුත් ඒ සියලුදෙනාම එසේ කරන්නේ නැහැ.
දැන් සිරගෙදර සිටින යොහන් අනුව යන කිහිපදෙනෙක් යේසුස් වෙතට ඇවිත් මෙසේ අසනවා. “අපිත් පරිසිවරුත් සිරිතක් ලෙස නිරාහාරව සිටින නමුත් ඔබේ ගෝලයන් නිරාහාරව නොසිටින්නේ මන්ද?” ආගමික වත් පිළිවෙතක් වශයෙන් පරිසිවරුන් සතියකට දෙවරක් නිරාහාරව සිටිනවා. යොහන්ගේ ගෝලයනුත් සමහරවිට එවැනි චාරිත්‍රයක් අනුගමනය කරනවා විය හැකියි. යොහන් සිරගත වී සිටීම ගැන ශෝකය ප්‍රකාශ කිරීමට ඔවුන් නිරාහාරව සිටිනවා වෙන්නත් පුළුවන්. යේසුස්ගේ ගෝලයනුත් ඔවුන් සමඟ එකතු වෙමින් ශෝකය ප්‍රකාශ නොකරන්නේ මන්ද කියා ඔවුන් කල්පනා කරනවා ඇති.
පිළිතුරු වශයෙන් යේසුස් මෙසේ කරුණු පහදා දෙනවා. “මනාලයා තමන් සමඟ සිටියදී මනාලයාගේ මිතුරන්ට ශෝක වන්ට හේතුවක් ඇද්ද? නමුත් මනාලයාව ඔවුන්ගෙන් වෙන් කරනු ලබන දවස් පැමිණේ. එවිට ඔවුහු නිරාහාරව සිටින්නෝය.”
යේසුස්ව මනාලයා ලෙස යොහන්ම හඳුන්වා දුන් බව යොහන්ගේ ගෝලයන්ගේ මතකයට නැඟිය යුතුයි. ඉතිං යේසුස් ඔවුන් අතරේ සිටින විට යොහන්වත් යේසුස්ගේ ගෝලයන්වත් නිරාහාරව සිටීම උචිත දෙයක් ලෙස සලකයි කියා සිතිය නොහැකියි. පසුව, යේසුස් මියගිය විට ඔහුගේ ගෝලයන් ඇත්තෙන්ම ශෝක වී නිරාහාරව සිටිනවා. එහෙත් ඔහු නැවත නැඟිට ස්වර්ගයට යන විට කනගාටුවෙන් හා නිරාහාරව සිටීමට තවදුරටත් අවශ්‍යතාවක් නැහැ.
ඊළඟට යේසුස් මේ උපහැරණ කියා දෙනවා. “කිසිවෙක් පරණ පිට වස්ත්‍රයකට අලුත් රෙදි කඩකින් අණ්ඩයක් මහන්නේ නැත. මන්ද, එසේ කළොත් එය වඩා ශක්තිමත් නිසා පිට වස්ත්‍රයෙන් ඇදී, ඉරුම වැඩි වේ. එසේම අලුත් වයින් පරණ සම් භාජනවලට දමන කිසිවෙක් නැත. ඔවුන් එසේ කළොත් ඒ සම් භාජන පැළී, වයින් ඉහිරී සම් භාජන නාස්ති වන්නේය. නමුත් අලුත් වයින් අලුත් සම් භාජනවලට දමනු ලැබේ.” මේ උපහැරණ හා නිරාහාරව සිටීම අතර ඇති සම්බන්ධය කුමක්ද?
නිරාහාරව සිටීම වැනි යුදෙව් ආගමේ පරණ සිරිත් විරිත් අනුගමනය කිරීම ඔවුන් තම ගෝලයන්ගෙන් අපේක්ෂා නොකළ යුතු බව තේරුම්ගැනීමට යේසුස් යොහන්ගේ ගෝලයන්ට උපකාර කරමින් සිටියා. ඔහු පැමිණියේ ඉවතලෑමට යන යල් පැන ගිය නමස්කාර ක්‍රම අලුත් කර ඒවා දිගටම පවත්වාගෙන යෑමට නොවෙයි. ක්‍රිස්තියානි ධර්මය ගොඩනැඟීමට යන්නේ මිනිස් සම්ප්රදායන්ගෙන් යුත් යුදෙව් ආගමට අනුකූල වෙන විදිහට නොවෙයි. එය පරණ වස්ත්‍රයක මහන අලුත් රෙදි කඩක අණ්ඩයක් මෙන්වත් පරණ සම් භාජනයක දමන අලුත් මුද්‍රිකපානය මෙන්වත් වෙන්නේ නැහැ. මතෙව් 9:14-17; මාක් 2:18-22; ලූක් 5:33-39; යොහන් 3:27-29; NW.
▪ නිරාහාරව සිටින්නේ කවුද? කිනම් අරමුණක් සඳහාද?
▪ යේසුස් ඔවුන් සමඟ සිටිද්දී ඔහුගේ ගෝලයන් නිරාහාරව නොසිටින්නේ ඇයි? ඉන්පසුව, ඔවුන් නිරාහාරව සිටිනු ඇති නමුත් ඒ සඳහා ඇති හේතුව ඉක්මනින්ම පහ වී යනු ඇත්තේ කොහොමද?
▪ යේසුස් විස්තර කරන උපහැරණ මොනවාද? ඒවායෙන් අදහස් කරන්නේ කුමක්ද?