18වෙනි පරිච්ඡේදය
යොහන් අඩු වෙයි යේසුස් වර්ධනය වෙයි
ක්‍රිස්තු වර්ෂ 30 වසන්තයේදී පැවති පාස්කුවෙන් පසු යේසුස් ඔහුගේ ගෝලයන් සමඟ යෙරුසලමෙන් පිටත් වෙනවා. නමුත් ඔවුන් ආපසු ගලීලයේ පිහිටි තම නිවෙස්වලට යන්නේ නැහැ. ඔවුන් යන්නේ යූදා දේශයටයි. ඔවුන් එහිදී කරන්නේ ජනයාව බව්තීස්ම කරන එකයි. යොහන් බව්තීස්ත දැන් වසරක පමණ කාලයක් පුරා එම වැඩයම කර තිබෙනවා. ඔහුගේ සමහර ගෝලයන් තවමත් ඔහු සමඟ ආශ්‍රය කරමින් සිටිනවා.
ඇත්තෙන්ම, යේසුස් බව්තීස්ම කිරීමේ කාර්යය කරන්නේ නැහැ. බව්තීස්ම කරන්නේ ඔහුගේ ගෝලයන්. නමුත් ඔවුන් එය කරන්නේ ඔහුගේ මඟ පෙන්වීම යටතේයි. ඔවුන් විසිනුත් යොහන් විසිනුත් සිදු කරන බව්තීස්මයෙන් සංකේතවත් කරන්නේ එකම දෙයයි. එනම්, එය දෙවි දුන් නීතික ගිවිසුමට විරුද්ධව කළ පාප සඳහා යුදෙව්වෙකුගේ පසුතැවිලි වීම පෙන්වන සංකේතයයි. නමුත් යේසුස් තම නැවත නැඟිටීමෙන් පසු, වෙනස් අර්ථයකින් යුත් බව්තීස්මයක් කිරීමට ගෝලයන්ට උපදෙස් දෙනවා. ඒ නිසා, අද දින ක්‍රිස්තියානි බව්තීස්මයෙන් සංකේතවත් කරන්නේ යෙහෝවා දෙවිට සේවය කිරීම සඳහා යමෙකු කරන කැපවීමයි.
යේසුස්ගේ සේවයේ මේ මුල් අවදියේදී, ඔහුත් යොහනුත් වෙන වෙනම වැඩ කරමින් සිටියත් ඔවුන් දෙදෙනාම කරන්නේ ජනයාට උගන්වමින් පසුතැවිලි වූවන්ව බව්තීස්ම කිරීමයි. එහෙත් යොහන්ගේ ගෝලයන් ඊර්ෂ්‍යා වී යේසුස් පිළිබඳව යොහන්ට මෙලෙස පැමිණිලි කරනවා. ‘රබ්බි, එම තැනැත්තා බව්තීස්ම කරන්නේය. තවද සියල්ලෝම ඔහු වෙතට යති.’
ඊර්ෂ්‍යා වෙනවා වෙනුවට යේසුස් ලබන සාර්ථකත්වය ගැන යොහන් සතුටු වෙනවා. ඔහු කැමති වන්නේ ඔහුගේ ගෝලයනුත් සතුටු වෙනවා දකින්නයි. ඒ නිසා ඔහු ඔවුන්ට මෙසේ මතක් කර දෙනවා. “මම ක්‍රිස්තුස් නොවෙමි කියාද මාව ඔහුට ඉදිරියෙන් එවන ලද්දේයයි කියාද මා කී බවට ඔබම මා ගැන සාක්ෂි දරන්නහුය.” ඊළඟට ඔහු මේ අලංකාරවත් උපහැරණය භාවිත කරනවා. “මනාලිය සතු තැනැත්තා මනාලයාය. එහෙත් මනාලයාගේ මිත්‍රයා නැඟිට සිට මනාලයාගේ කටහඬ අසා අතිශයින් ප්‍රීති වන්නේය. එහෙයින් මගේ මේ ප්‍රීතිය පූර්ණ වී තිබේ.”
මාස හයකට පමණ ඉහතදී, තම ගෝලයන්ට යේසුස්ව හඳුන්වා දුන් විට මනමාලයාගේ මිත්‍රයා වන යොහන් ප්‍රීති වුණා. පසු කලෙක, ඔවුන්ගෙන් සමහරෙක් ආත්මයෙන් අභිෂේක ලත් ක්‍රිස්තියානීන්ගෙන් සමන්විත ක්‍රිස්තුස්ගේ ස්වර්ගික මනාලිය පංතියේ සාමාජිකයන් වීමේ අපේක්ෂාව ලැබුවා. දැන් ඔහුගේ ගෝලයන්ව සිටින අයත් යේසුස්ව අනුගමනය කරනවා දැකීමට යොහන් කැමතියි. මොකද ඔහුගේ අරමුණ වන්නේ ක්‍රිස්තුස්ගේ දේවසේවයේ සාර්ථකත්වයට දායක වෙමින් මාර්ගය පිළියෙළ කර දීමයි. යොහන් බව්තීස්ත පහදා දෙන ආකාරයට, “ඔහු වර්ධනය විය යුතුය. මා අඩු විය යුතුය.”
කලින් යොහන් බව්තීස්තගේ ගෝලයෙක් වශයෙන් සිටි යොහන් දැන් යේසුස්ගේ ගෝලයෙක් බවට පත් වී තිබෙනවා. ඔහු යේසුස්ගේ මූලාරම්භය හා මිනිස්වර්ගයාගේ ගැලවීම සම්බන්ධයෙන් යේසුස් ඉටු කරන වැදගත් කාර්යභාරය ගැන ලියන්නේ මෙසේයි. ‘ස්වර්ගයෙන් පැමිණෙන තැනැත්තා අන් සියල්ලන්ටම වඩා උසස්ය. පියාණන් පුත්‍රයාට ප්‍රේම කරයි. එමෙන්ම සියල්ල ඔහු අතට දී ඇත. පුත්‍රයා කෙරෙහි ඇදහිල්ල පෙන්වන්නාට සදාකාල ජීවනය ලැබේ. පුත්‍රයාට අකීකරු වන්නා කෙරෙහි දෙවිගේ උදහස පවතින අතර, ඔහු ජීවනය නොදකියි.’
තමාගේ ක්‍රියාකාරකම් අඩු වන බව පවසා වැඩි කලක් යන්න පෙර යොහන් බව්තීස්තව හෙරොද් රජ අත්අඩංගුවට ගන්නවා. හෙරොද්, තම සහෝදරයා වූ ෆිලිප්ගේ භාර්යාව වන හෙරෝදියස්ව විවාහ කරගෙන සිටිනවා. එය නුසුදුසු ක්‍රියාවක් බව යොහන් ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරන නිසා හෙරොද් ඔහුව සිර කරනවා. යොහන්ව අත්අඩංගුවට ගෙන ඇති බව යේසුස් දැනගන්නා විට ඔහු ගෝලයන් සමඟ යුදයෙන් පිටත් වී ගලීලයට යනවා. යොහන් 3:22–4:3; ක්‍රියා 19:4; මතෙව් 28:19; 2 කොරින්ති 11:2; මාක් 1:14; 6:17-20; NW.
▪ යේසුස්ගේ නැවත නැඟිටීමට පෙර සහ පසු ඔහුගේ මඟ පෙන්වීම යටතේ සිදු කරන බව්තීස්ම කිරීම් මගින් සංකේතවත් කරන්නේ කුමක්ද?
▪ තම ගෝලයන්ගේ පැමිණිල්ල සාධාරණ නොවන බව යොහන් පෙන්වන්නේ කොහොමද?
▪ යොහන්ව අත්අඩංගුවට ගන්නේ ඇයි?