5වෙනි පරිච්ඡේදය
යේසුස්ගේ උපත සිදු වන්නේ කොතැනද? කවදාද?
රෝම අධිරාජ්‍යයා වන සීසර් ඔගස්ටස් නියෝග කර තිබෙනවා සියලුදෙනාම තම තමන් ඉපදුණු ගම්වලට ගොස් ලියාපදිංචි විය යුතු බව. ඉතිං යෝසෙපුත් තමාගේ උපන් ගම වන බෙත්ලෙහෙමට ගමන් කරනවා.
ලියාපදිංචි වීම සඳහා බොහෝදෙනෙක් බෙත්ලෙහෙමට පැමිණ සිටිනවා. නවාතැන් ගැනීමට යෝසෙප්ට සහ මරියාට ඉතිරි වී තිබෙන්නේ ගව මඩුවක් පමණයි. බූරුවන් හා වෙනත් සතුන් බැඳ තබා ඇති මේ ගව මඩුවේ තමයි යේසුස් ඉපදෙන්නේ. මරියා ඔහුව රෙදිවලින් ඔතා, සතුන්ට කෑම දෙන්න භාවිත කරන ගව ඔරුවක ඔහුව තබනවා.
පොරොන්දු වූ පාලකයා බෙත්ලෙහෙමේ ඉපදෙන බව ශුද්ධ ලියවිලිවල බොහෝ කලකට පෙර පුරෝකථනය කර තිබුණු නිසා, සීසර් ඔගස්ටස් ලියාපදිංචි කිරීම පිළිබඳ මෙම නීතිය පනවන්නේ දෙවිගේ මඟ පෙන්වීම යටතේ බව ස්ථිරයි. යේසුස් එම නුවරේ ඉපදෙන්නේ ඒ නීතිය නිසයි.
මෙය මොන තරම් වැදගත් රාත්‍රියක්ද! එළිමහන් පිට්ටනියක එඬේරුන් පිරිසක් සිටිනවා. ඔවුන් වටා දීප්තිමත් ආලෝකයක් බැබළෙයි. එය යෙහෝවාගේ තේජසයි! එවිට යෙහෝවාගේ දූතයෙක් දර්ශනය වී ඔවුන්ට පවසන්නේ මෙලෙසයි. ‘භය නොවන්න. බලන්න! සියලු ජනයා අද්දකින මහත් ප්‍රීතියක් ගැන මම ඔබට ශුභාරංචි ප්‍රකාශ කරන්නෙමි. මන්ද, ඔබට ගැලවුම්කරුවෙක් දාවිත්ගේ නුවරෙහි අද උපන්නේය. ඔහු ස්වාමීන් වන ක්‍රිස්තුස්ය. රෙදි පටිවලින් ඔතා ගව ඔරුවක නිදා සිටින ළදරුවෙකු ඔබට සම්බ වන්නේය. මෙය ඔබට ලකුණකි.’ එවිට එකපාරටම තවත් දේවදූතයන් කිහිපදෙනෙක් දර්ශනය වෙමින්, “ඉතා උස් තැන්හි දෙවිට මහිමයද මිහිපිට දේවප්‍රසාදය ලත් මිනිසුන්ට සමාදානයද වේවා” කියා ගායනා කරනවා.
දේවදූතයන් එතැනින් ගිය පසු ‘යෙහෝවා අපට දැනුම් දී තිබෙන මේ සිද්ධිය දැකබලා ගැනීම සඳහා අපි බෙත්ලෙහෙමට යමු’ යයි එඬේරුන් එකිනෙකා අතර කතා වෙනවා. ඔවුන් ඉක්මනින්ම පිටත් වී යේසුස්ව සොයාගන්නවා. ඔහු සිටින්නේ දේවදූතයා පැවසූ ස්ථානයේමයි. එඬේරුන් දේවදූතයා තමන්ට පැවසූ දේ විස්තර කරන්නේ සියලුදෙනාවම මවිතයට පත් කරවමිනුයි. මරියා නම් මේ සෑම කියමනක්ම මෙනෙහි කරමින් ඒවා ඇගේ සිතේ නිදන් කරගන්නවා.
අද බොහෝදෙනෙක් විශ්වාස කරන්නේ යේසුස් දෙසැම්බර් 25වනදා ඉපදුණු බවයි. එහෙත් දෙසැම්බර් මාසය සාමාන්‍යයෙන් බෙත්ලෙහෙමට වැසි වසින ශීත කාලයක්. සාමාන්‍යයෙන් ඒ කාලයේදී එඬේරුන් රෑ යාමේ බැටළු රැළවල් සමඟ තණ පිට්ටනිවල ගැවසෙන්නේ නැහැ. අනික, ඒ වන විටත් තමන්ට එරෙහිව කැරලි ගැසීමට නැඹුරු වූ සෙනඟකට අධික ශීත කාලයකදී ලියාපදිංචි වෙන්න කියා රෝමයේ සීසර් විසින් නියෝග කරයි කියා සිතන්න අමාරුයි. පැහැදිලිවම යේසුස් ඉපදුණේ ශරත් ඍතුවේ මුල් කාලයේ යම් දිනයකයි. ලූක් 2:1-20, NW; මීකා 5:2.
▪ යෝසෙප් හා මරියා බෙත්ලෙහෙමට ගමන් කරන්නේ ඇයි?
▪ යේසුස් ඉපදුණු රාත්රියේදී සිදු වන මවිතකර දේ කුමක්ද?
▪ යේසුස් දෙසැම්බර් 25වනදා ඉපදුණේ නැති බව අප දන්නේ කොහොමද?