ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • g 10/12 12-14 පි.
  • දුටු සැණින් හද ගැහෙන රුව

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • දුටු සැණින් හද ගැහෙන රුව
  • 2012 පිබිදෙව්!
  • සමාන තොරතුරු
  • කඳු ගෝරිල්ලන් බලන්න යෑම
    1998 පිබිදෙව්!
  • ගැබොන් සත්ව රාජධානියක්
    2008 පිබිදෙව්!
  • ගෝරිල්ලා පැටවෙකුගේ දුක්බර කඳුළු
    2008 පිබිදෙව්!
  • පටුන
    2012 පිබිදෙව්!
තව තොරතුරු
2012 පිබිදෙව්!
g 10/12 12-14 පි.

දුටු සැණින් හද ගැහෙන රුව

අප්‍රිකාව කියූ පමණින් අපේ මනසට නැඟෙන්නේ ඒ රටට දායාදයක් වූ සත්ව සම්පතයි. පැය 12ක් පුරා ඉතාමත් දුෂ්කර මාර්ගයක් හරහා අපි මේ යන්නේ කැමරූන් හා කොංගෝව අතර පිහිටි සාංගා ඉන්ඩෝකී ජාතික වනෝද්‍යානයටයි. එහි වටිනා සත්ව සම්පතක් වන බටහිර පහත්බිම් ගෝරිල්ලන්ව දැක බලා ගැනීමයි අපේ ගමනේ අරමුණ.

අපේ මාර්ග උපදේශිකාව කිව්වේ අපි හැමෝටම කණ්ඩායමක් හැටියට එකට ඉන්න කියලයි. මොකද වල් අලින්ගෙන් අනතුරක් වෙන්න පුළුවන් නිසා. සාමාන්‍යයෙන් උන් කෑම හොයාගෙන එන්නෙත් අපි ආපු පාරෙන්ම තමයි. ඒත් අපි භය වුණේ උන්ට විතරක් නෙවෙයි. අපේ උපදේශිකාව අපිට මෙහෙම කිව්වා. “හදිසියේවත් ගෝරිල්ලෙක් ඕගොල්ලන් ළඟට ආවොත්, නතර වෙලා බිම බලාගන්න. උන්ගේ ඇස් දිහා බලන්න එපා. උන් ලොකුවට සද්ධ කළාට අනතුරක් කරන්නේ නැහැ. මම හිතන හැටියට ගෝරිල්ලෙක් ළඟට ආවොත් ඇස් පියාගන්න එක තමයි හොඳම දේ.”

අපේ කණ්ඩායමට උදව් කරන්න ඒ පළාතේ ඉන්න ගෝත්‍රිකයෙකුත් ආවා. ඒ අය හරි මිටියි. ඒ නිසා සමහර අය ඒගොල්ලන්ට කිව්වේ මිට්ටෝ කියලා. සාමාන්‍යයෙන් එයාලට සතෙක් ඈතින් එද්දිම උගේ සද්දෙන් සහ ගඳෙන් කියන්න පුළුවන් මොන සතාද එන්නේ කියලා. අපි යනකොට මීමැසි ප්‍රහාරයකුත් එල්ල වුණා. අපිට මේ ගමන අමාරු වුණත් උදව්වට ආපු ගෝත්‍රිකයාට නම් මේ ගමනේ කිසි අමාරුවක් නැහැ.

ඒ ගෝත්‍රිකයා අපිව කැලෑවක් මැද්දෙන් අරන් ගියා. මම හිතන්නේ විදේශිකයන් එක් කෙනෙක් දෙන්නෙක් වගේ තමයි මෙහෙට ඇවිත් ඇත්තේ. එක පාරටම එයා නතර වෙලා එයාගේ අතින් එක තැනක් පෙන්නුවා. එතන තණකොළත් පොඩි වෙලා. ගස්වල අතු කඩලා දාලා. එතන ගෝරිල්ලන් කාලා, නටලා ගිය පාටක් තමයි පේන්න තිබුණේ. උන් කාලා ඉතුරු කරපු කෑමත් එතන තිබුණා. මේ ටික දැක්කම ගෝරිල්ලන්ව බලන්න තිබුණ ආසාව තවත් වැඩි වුණා.

කිලෝමීටර් තුනක් විතර යනකොට අපිට උදව්වට ආපු ගෝත්‍රිකයාගේ ගමනේ වේගය අඩු වුණා. එයා කටින් පොඩි සද්දයක් දැම්මා. එහෙම කළේ අපි එන බව ගෝරිල්ලන්ට දන්වන්න වගෙයි. ළඟ ළඟම වගේ ගස්වල අතු හෙළවෙන සද්දේ ඇහුණා. අපේ මාර්ග උපදේශිකාව කිව්වා කිසිම සද්දයක් කරන්නේ නැතුව හෙමිහිට ගස් අස්සෙන් නැවිලා එන්න කියලා. එහෙම යද්දී මීටර් අටක් විතර ඉස්සරහින් ගෝරිල්ලෙක් ඉන්නවා අපි දැක්කා.

සද්දබද්දවලින් පිරුණු කැලෑව දැං හරිම නිශ්ශබ්දයි. අපිට ඇහෙන්නේ අපේ හද ගැස්ම විතරයි. දැන් අපේ හිතේ තියෙන එකම භය ගෝරිල්ලා අපිට කරදරයක් කරයිද කියලා. ඒත් ඌ අපිව සත පහකටවත් ගණන්ගත්තේ නැහැ. අපි දිහා බලලා ලොකු ඈනුමක් ඇරියා. එතකොට තමයි අපිට සැනසුම් සුසුමක් හෙළන්න පුළුවන් වුණේ.

අපේ කණ්ඩායම, ගෝරිල්ලෝ හිටිය තැනට යනකොට උන් උදේ කෑම කනවා. එක පැත්තක තරුණ වයසේ ගෝරිල්ලෝ දෙන්නෙක් පෙරළිපෙරළී සෙල්ලම් කරනවා. තවත් මාස දහයක විතර පුංචි එකෙක් අම්මා ළඟ සෙල්ලම් කරනවා. ඌ ටිකක් හරි අම්මගෙන් ඈත් වෙනකොට ඉක්මනටම අම්මා ඌව ඇදලා ළඟට ගන්නවා. අනික් උන් ගස් අතු කඩකඩා කනවා. ඒ ගමන්ම අපි දිහත් බලනවා.

පැයක් විතර අපි එතන හිටියා. ඊටපස්සේ අපිට ආපහු එන්න වෙලාව හරි. ගෝරිල්ලන්ටත් එහෙම හිතිලද කොහෙද පොඩි සද්දයක් දාලා හිමීට කැලෑවට ඇදිලා ගියා. තප්පර කිහිපයක් යනකොට මුළු රංචුවම කොහේ ගියාද කියලා හොයාගන්නවත් නැහැ. අපිට උන් එක්ක ඉන්න ලැබුණේ පොඩි වෙලාවක්. ඒ වුණත් ඒ මතකය කාලයක් පුරා තියෙයි.

ගෝරිල්ලෙකුගේ ජීවිතය

ගෝරිල්ලන් උන්ගේ සද්දන්ත ශරීරය පෝෂණය කරන්නේ ගස්වල අතු, කොළ, දලු වගේ දේවලිනුයි. ඒ වගේම, ඒ ඒ වාරයට එන පලතුරු සහ පුංචි කුරුමිණියන්වත් උන් කනවා. කෑම හොයාගෙන උන්ට කිලෝමීටර් හතරක් වුණත් ගමන් කරන්න පුළුවන්. ගෝරිල්ලන් බිමත් ගස් උඩත් නිදාගන්නවා. රැළේ නායකයාව හඳුන්වන්නේ සිල්වර්බැක් කියලයි. ඊට හේතුව උන් වයසට යද්දී පිටුපස කලු කෙස් සුදු පැහැයට හැරෙන නිසයි. රැළේ නායකයා පවුලේ ආරක්ෂාව සඳහා බොහෝවිට නිදාගන්නේ ගස් පාමුලයි.

ගෝරිල්ලන්ව, මිනිසුන්ට හීලෑ කිරීම සඳහා වසර පහක් පමණ සෑම දිනකම ගෝත්‍රිකයන් උන් වෙසෙන ස්ථානවලට යනවා. ඉන්පසුවයි සංචාරකයන්ව ඒ වගේ තැන්වලට ගෙනියන්නේ. සංචාරකයන්ගෙන් ලැබෙන මුදල් යොදවන්නේ වඳ වී යෑමේ තර්ජනයට ලක් වී සිටින ගෝරිල්ලන්ව රැකබලා ගැනීමට සහ උන් ගැන අධ්‍යයනය කිරීමටයි.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න