බලාපොරොත්තුවක් මගින් ජීවිතයේ යම් වෙනසක් ඇති වේද?
ඩැනියෙල්ගේ වයස අවුරුදු දහයක් වුණත්, ඔහු වසරක් පමණ කාලයක් මුළුල්ලේ පිළිකාවක් සමඟ පොරබදිමිනුයි සිටියේ. ඔහුගේ වෛද්‍යවරුත් ඔහුට සමීප අනික් අයත් ඔහු ගැන තිබූ බලාපොරොත්තු අත්හැරලා තිබුණා. නමුත් ඩැනියෙල්ට තිබුණේ ලොකු බලාපොරොත්තුවක්. තමා ලොකු වුණහම කවදාහරි පිළිකා රෝගය පිළිබඳව පර්යේෂණය කරලා පිළිකා රෝගයට බෙහෙතක් සොයාගන්නවාය යන විශ්වාසය ඔහුට තිබුණා. තමන්ට තිබූ පිළිකා රෝගය පිළිබඳ විශේෂඥ වෛද්‍යවරයෙක් තමාව බැහැදැකීමට එන බව දැනගත්තාම ඔහු ඒ ගැනත් විශේෂ බලාපොරොත්තුවක් ඇති කරගත්තා. එහෙත්, පැමිණීමට තිබූ නියමිත දවසේ අයහපත් කාලගුණික තත්වයක් තිබූ නිසා මේ විශේෂඥ වෛද්‍යවරයා ඔහුව බැහැදැකීම අවලංගු කළා. මෙයින් සිද්ධ වුණේ ඩැනියෙල්ගේ බලාපොරොත්තු සුන්වීමයි. පළමු වතාවට ඔහුට ජීවිතය ගැන තිබූ ආශාව නැතිව ගියා. ඉන්පසු දවස් කිහිපයකින් ඔහු මිය ගියා.
ඩැනියෙල්ගේ මේ කතාව පැවසුවේ බලාපොරොත්තුවක් තිබීම හා නොතිබීම යමෙකුගේ සෞඛ්‍යයට බලපාන ආකාරය ගැන අධ්‍යයනය කළාවූ එක්තරා සෞඛ්‍ය නිලධාරියෙක්. ඒ වගේ වාර්තා ඔබ අසා තිබෙන්නට පුළුවන. නිදසුනක් වශයෙන්, මරණාසන්නව සිටින යම් මහලු තැනැත්තෙක් ජීවිතයේ යම් වැදගත් දෙයක් සිදු වෙන තෙක් බොහෝ කාලයක් තිස්සේ බලා සිටිනවා විය හැකියි. සමහරවිට ඒ තමාට බොහෝ ප්‍රේම කරන කෙනෙකුගේ පැමිණීම හෝ නැත්නම් ඔහුගේ හෝ ඇගේ විවාහ සංවත්සර දවස විය හැකියි. එතෙක් බලා සිටි ඒ අවස්ථාව උදාවීමෙන් පසුව වැඩි කල් යන්නට මත්තෙන් එම පුද්ගලයා මරණයට පත් වෙන්නට පුළුවනි. එවන් තත්වයකට හේතු වෙන්නේ කුමක්ද? ඇතමුන් විශ්වාස කරන්නාක් මෙන් ඇත්තටම බලාපොරොත්තුව, එතරම් ප්‍රබල බලපෑමක් ඇති කළ හැකිද?
වෛද්‍ය පර්යේෂණවලින් එන්ට එන්ටම පැහැදිලිව පෙනී යන කාරණයක් නම්, සර්ව ශුභවාදය, බලාපොරොත්තුව සහ වෙනත් ධනාත්මක චිත්තවේගී හැඟීම් ඇත්තවශයෙන්ම යම් පුද්ගලයෙකුගේ ජීවිතය හා සෞඛ්‍යය කෙරෙහි ප්‍රබල බලපෑමක් ඇති කරන බවයි. එහෙත් එවන් මතයකට සෑම කෙනෙක්ම එකඟ වෙන්නේ නැහැ. එවන් මතයන් හුදෙක් අවිද්‍යාත්මක කට කතායයි කියන ඇතැම් පර්යේෂකයන් ඒවා නොසලකාහරිනවා. ඔවුන් සිතන්නේ ශාරීරික රෝගවලට හේතුව හුදෙක් ශාරීරික හේතුම බවයි.
බලාපොරොත්තුවක වැදගත්කම පිළිබඳව තිබෙන මෙවන් සැකයන් අලුත් යමක් නොවන බව කිව යුතු නැහැ. මීට වසර දහස් ගණනකට පෙරාතුව, ග්‍රීක් ජාතික දර්ශනවාදියෙකු වූ ඇරිස්ටෝටල්ගෙන් බලාපොරොත්තුව යන්න නිර්වචනය කරන්න කියා විමසූ විට ඔහු දුන් පිළිතුර වූයේ, එය “දවල් දකින හීනයක්” බවයි. වඩාත් මෑත කාලයේදී, අමෙරිකානු රාජ්‍ය නායකයෙකුව සිටි බෙන්ජමින් ෆ්රැන්ක්ලින් ඒ ගැන උපහාසයට ලක් කරමින් කියා සිටියේ, “බලාපොරොත්තුවක් මත ජීවත් වෙන්නා හාමතේ මිය යයි” කියාය.
එසේනම්, බලාපොරොත්තුව පිළිබඳ නියම සත්‍යය කුමක්ද? එය නිකම්ම පැතුමක් විතරද? අහසේ මාලිගා තනමින් සිටින අයව සැනසීමට තිබෙන ක්රමයක්ද? එසේ නැත්නම්, බලාපොරොත්තුව යනු ඊටත් වඩා වැඩි යමක්ද? එනම්, අපේ සෞඛ්‍යය හා සන්තෝෂය උදෙසා අප සියලුදෙනාටම ඕනෑ කරන්නාවූ, යම් නියම පදනමක් හා නියම ප්‍රයෝජන ලබා දෙන දෙයක් බව විශ්වාස කිරීමට වලංගු හේතුවක් එහි තිබෙනවාද?