අකුණු වැදීමෙන් ඔබව ආරක්ෂා කරගන්න!
ස්වීඩනයේ පිබිදෙව්! වාර්තාකරු විසිනි
සාමාන්‍ය අකුණු පහරකට, ඇම්පියර් දසදහස් ගණනකින් යුත් ධාරාවක් මෙන්ම වෝල්ට් මිලියන දස ගණනක විදුලි බලයක් ඉසිලිය හැකිය. මේ සමඟ සැසඳීමේදී, නිවසක සාමාන්‍ය විද්‍යුත් පරිපථයක් සාමාන්‍යයෙන් ඇම්පියර් 15කට තක්සේරු කර තිබේ.a අකුණක් වැදීමේ අවදානම අවම කරගැනීම සඳහා ඔබට කුමක් කළ හැකිද? පහත සඳහන් යෝජනා සැලකිල්ලට ගන්න.
• හැකි නම්, ගොඩනැඟිල්ලක් ඇතුළට යන්න. මෝටර් රථයකට පවා හොඳ ආරක්ෂාවක් සැපයිය හැකිය. උස ගොඩනැඟිල්ලක් ඇතුළත සිටීම සම්බන්ධයෙන් කුමක් කිව හැකිද? අකුණු වැදීම වැළැක්වීම සඳහා භාවිත කර තිබෙන පොලු තිබෙන උස ගොඩනැඟිල්ලක් ආරක්ෂිත ස්ථානයක් විය හැකිය. නිදසුනක් වශයෙන්, නිව් යෝර්ක් නගරයේ එම්පයර් ස්ටේට් ගොඩනැඟිල්ල, අකුණු වදින අවස්ථා 25කට සෑම වසරකම සාර්ථකව මුහුණ දෙයි. කෙසේවෙතත්, ලෝහ වහලවල් සහිත බිම් නොගැන්වූ ගොඩනැඟිලි මෙන්ම ඇන්ටනා හා ලෝහ වැටවල් තිබෙන ස්ථානවල ගැවසීමෙන් වැළකී සිටීම වඩාත් හොඳය.
• විල්, කුඹුරු හා ගොල්ෆ් පිටි වැනි එළිමහන් ප්‍රදේශවලින් ඉවත් වන්න. තනිව තිබෙන, උස ගස්ද අන්තරාදායක විය හැක. ඔබ බොහෝ ගස් තිබෙන ප්‍රදේශයක සිටිනවා නම්, එයින් අවම උසින් යුත් ගස් යට ආරක්ෂා වන්න. කුණාටුව අන්තරාදායක ලෙස ඉතා සමීපව තිබේ නම් සහ ඔබට එළිමහන් ප්‍රදේශයකින් ඉවත්වීමට නොහැකි නම්, බිම ඇනතියාගෙන වාඩි වී, ඔබගේ දණහිස් දෑතින් තුරුල් කරගන්න. බිම දිගා වී නොසිටින්න, මන්දයත්, අකුණ පහර වැදීම වැළැක්වීම සඳහා හැකි තරම් කුඩා මතුපිටක් සැපයීම වැදගත් වන බැවිනි.
• ගොඩනැඟිල්ලක් තුළ සිටින විට පවා, ඔබට පූර්වෝපායන් ගත හැක. පහත සඳහන් වන්නේ යෝජනා කිහිපයකි: උදුන් හා ලෝහ ජල නල වැනි විද්‍යුත් සන්නායක ද්‍රව්‍ය ඇල්ලීමෙන් වැළකීමට උත්සාහ කරන්න. නෑමෙන් වැළකීම හෝ නාන ටැංකියෙන් ඉවත් වී සිටීම ඥානවන්ත දෙයක් වනු ඇති අතර, දූරකථනය භාවිත කිරීමටද වෑයම් නොකරන්න. නිවස අකුණකින් පහර ලැබුවහොත්, පරිගණක, රූපවාහිනී යන්ත්‍ර හා වෙනත් උපකරණවලට හානි පැමිණිය හැකි බැවින් ඒවායෙහි පේනුව ඉවත් කර තබන්න.
• යම් කෙනෙකුට අකුණක් වැදුණහොත්, විගසින්ම හෘද පෙනහලු නැවතත් ප්‍රාණවත් කිරීම (සීපීආර්) වැදගත් වනු ඇත. බොහෝ අවස්ථාවලදී, ගොදුරුවූවන් මියගිය බවට පෙනෙන්ට තිබූ විට පවා, ඔවුන්ව සීපීආර් දීමෙන් නැවතත් ප්‍රාණවත් කරනු ලැබ තිබෙන බව ස්වීඩනයේ උප්සාලා විශ්වවිද්‍යාලයේ, අධි වෝල්ටියතා පර්යේෂණ දෙපාර්තමේන්තුවේ සේවය කරන මහාචාර්ය වික්ටර් ෂූකා ප්‍රකාශ කරයි. “නමුත් මොළයට හානි පමුණුවීම වළක්වාගැනීම සඳහා විගසින්ම ප්‍රතිකාර කළ යුතු” බවට ඔහු අනතුරු අඟවයි.
ඔබ අකුණු කුණාටුවකට අසු වුවහොත්, ඉහත සඳහන් පූර්වෝපායන් අනුගමනය කිරීම සම්බන්ධයෙන් සලකා බලන්න. එවිට මෙම ගරුබිය දනවන දර්ශනයට ඔබ බොහෝදුරට ගොදුරු නොවනු ඇත.
[පාදසටහන]
a ඇම්පියරයක් වනාහි, විද්‍යුත් ධාරාවක ප්‍රබලතාව මනින ඒකකයකි, එනම් භාවිත කරනු ලබන ධාරාවේ ප්‍රමාණය වේ. වෝල්ට්වලින් විද්‍යුත් ධාරාවේ බලය අඟවනු ලැබේ. වර්ෂ 1985 පෙබරවාරි 22, එවේක්! සඟරාවේ, පිටු 26-7 බලන්න.