අපගේ පාඨකයන්ගෙන්
සාක්ෂිකරුවන්ගේ සමුළු “එ ඩේ දැට් චේන්ජ්ඩ් හර් ලයිෆ්,” (ඇගේ ජීවිතය වෙනස් කළ දවසක්) යන මාතෘකාවෙන් යුත් අද්දැකීමට ඔබට ස්තුතියි. (1995 මාර්තු 22, එවේක්!) යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන්ගේ විශේෂ එක්රැස්වීමකට යෞවන කාන්තාවකට ඇගේ නැන්දා ආරාධනා කළ අද්දැකීම, මටත් එම දෙයම සිදු වූ බව මතක් කර දුන්නා. වර්ෂ 1985 ගිම්හානයේදී, මගේ සහෝදරයාගෙන් ආරාධනයක් ලැබ මගේ පළමු එක්රැස්වීමට මම ගියා. ඉක්මනින්ම මට තිබූ මුල් අවිශ්වාසය වෙනුවට උණුසුම්භාවයේ හැඟීමක් ඇති වුණා; මා එක් විශාල පවුලක් මැද සිටින්නාක් මෙන් මට හැඟුණා. බයිබලය නොකඩවා අධ්‍යයනය කිරීමට මම තීරණය කළ අතර,මා අද පූර්ණ කාලීන එවැන්ජලිස්තවරියක්, එනම් ස්ථාවර පුරෝගාමියෙක් වශයෙන් කටයුතු කරනවා.
ඊ. එෆ්., ඉතාලිය
ණය “ඩස් ඉට් පේ ටු ගෝ ඉන්ටු ඩෙට්” (ණය ගැනීම වටිනවාද?) යන ඔබගේ ලිපියට ස්තුතියි. (1995 ජූනි 8, එවේක්!) මට තවම අවුරුදු 13යි, නමුත් මම මුදල් හරියාකාරව හසුරුවමින් සිටියේ නැහැ. මෙම ලිපිය මට බොහෝ සේ උපකාර කරයි කියා මම සිතනවා.
සී. එ., එක්සත් ජනපදය
වහල්භාවය අප්‍රිකානු අමෙරිකානු කාන්තාවක් වශයෙන් 1995 ජූනි 8, එවේක්! සඟරාවේ “ද චේන්ස් ඇන්ඩ් ටියර්ස් ඔෆ් ස්ලේවරි,” (වහල්භාවයේ දම්වැල් සහ කඳුළු) නමැති ලිපි මාලාව මම බොහෝ සෙයින් අගය කළා. කවරයේ පින්තූරය මගේ ඇස්වලට කඳුළු උනන්ට සැලැස්සුවා. මෙම නින්දිත ඓතිහාසික සාධක ගෙනහැර පෑමට වූ ඔබගේ ධෛර්යයට මගේ සිත ඇදී ගියා. ඉතා සංවේදී ලෙස හා බොහෝ තොරතුරු සහිතව ලිපිය ඉදිරිපත් කර තිබුණා.
බී. එම්., එක්සත් ජනපදය
මෙම මාතෘකාව අපි ඉතිහාස පන්තියේ සාකච්ඡා කරමින් සිටි බැවින්, ලිපිය හරි වෙලාවටයි පැමිණියේ. අභිමතය පරිදි කළ හැකි ගෙදර වැඩ සමහරක් සම්පූර්ණ කිරීමට ලිපිය ප්‍රයෝජනයට ගැනීමෙන් මට හොඳ ලකුණු ලැබුණා. වහලුන් ගැන මට මහත් දුකක්ද දැනුණා.
එම්. සී., ජර්මනිය
ජීවිත කතාව “ජීවිතයේ අරුත සඳහා මගේ සාර්ථක සෙවීම” (1995 සැප්තැම්බර් 8) යන ලිපිය හද දනවන ලිපියක් වුණා. හැරල්ඩ් ඩයිස්ගේ කතාව පූර්ණ කාලීන සේවයට මා ඇතුල් විය යුතුදැයි තීරණය කිරීමට මට උපකාර වුණා. තවද බෙතෙල් එනම්, බෘක්ලින් නිව් යෝර්ක්හි පිහිටි යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන්ගේ මූලස්ථානය බලන්ටද මට අවස්ථාවක් ලැබුණා, තවද, මෙයින් මා තුළ පෙලඹවීමක් ඇති වුණා. මා පූර්ණ කාලීන සේවයට ඇතුල්වීම සම්බන්ධයෙන් දැන් කිසි සැකයක් නැහැ!
ඒ. සී., එක්සත් ජනපදය
සමාව දී අමතක කර දැමීම “බයිබලයේ දෘෂ්ටිකෝණය: ෆොගිව් ඇන්ඩ් ෆොගෙට්—හව් පොසිබල්?” (සමාව දී අමතක කර දැමීම—හැක්කේ කෙසේද?) යන කදිම ලිපියට ඔබට ස්තුතියි. (1995 ජූනි 8, එවේක්!) අසම්පූර්ණ මනුෂ්‍යයාට කළ නොහැකි යමක් කිරීමට බයිබලය බලෙන් ඉල්ලා සිටිනවාද කියා මම කල්පනා කරන්ට වුණා. නමුත් සමාව දී අමතක කර දැමීම යන්නෙන් අදහස් වන්නේ කුමක්ද කියා මට දැන් තේරෙනවා. දෙවියන්වහන්සේගේ ආඥා පීඩාකාරි නොවන බවට වූ මගේ ස්ථිර විශ්වාසයට එම ලිපිය දායක වුණා.
සී. අයි. සී., නයිජීරියාව
එම ලිපිය මම කෙතරම් අගය කළාද කියා ඔබට ලියා දන්වන්ට මට වුවමනා වුණා. කුඩා දැරියක්ව සිටියදී, මගේ මාමලා දෙදෙනෙකු අතින් මා ලිංගික අතවරයට ලක් වුණා. පසුව, බිරිඳක් වශයෙන් මා අඩත්තේට්ටම්වලටත් අයුතු සැලකිල්ලටත් ගොදුරු වුණා. ක්‍රිස්තියානිවරියක් වීමෙන් පසු, ප්‍රේමය පෙන්වීමට සහ සමාව දීමට මම උත්සාහ කළා. කෙසේවෙතත්, බොහෝ වසර ගණනාවකට මගේ දැඩි වේදනාවට හේතු වූ මෙම පුද්ගලයන් තිදෙනාට මම සමාව දුන්නා කියා මට කිසිදාක අවංක ලෙස කියන්ට හැකි වී නැහැ. සමහර දේවල් යෙහෝවඃවහන්සේගේ හස්තයට භාර දිය යුතුයයි මට දැන් තේරෙන අතර, මගේ ජීවිතය දිගටම ගෙන යෑමට හැකිව තිබෙනවා. මට බලපා තිබෙන මෙම දැඩි වේදනාව ඉක්මනින්ම නැති වී යන බව එළිදරව් 21:4 මට සහතික කරනවා.
ඒ. බී., එක්සත් ජනපදය
මම ලිපිය කියවා අවසන් වුණා පමණයි, ඒ වාගේම මෙම මොහොතේදී හැඟෙන්නාක් මෙන්, මම යෙහෝවඃ දෙවියන්වහන්සේට මෙතරම් කිට්ටු වූ බවක් මට කිසිදාක හැඟී නැහැ. ටික කලකට පෙර මම බරපතළ පාපයකට සම්බන්ධ වී සිටි අතර, මේ සඳහා සභාවේ වැඩිමහල්ලන්ගේ උපකාරය පැතුවා. ඔවුන්ගෙන් කාරුණික ප්‍රේමනීය උපදෙස් මට ලැබුණත්, යෙහෝවඃවහන්සේට යාච්ඤාවෙන් කතා කිරීමේදී මට තවමත් බාධාවක් තිබුණු බව හැඟුණා. අපගේ ස්වර්ගික පියාණන් සමාව දී අමතක කර දමන්නේ කෙසේද යන්න පිළිබඳව මට එතරම් අවශ්‍ය වූ වඩාත් පැහැදිලි අවබෝධයක් මෙම ලිපිය මට ලබා දී තිබෙනවා. හෘදයාංගම යාච්ඤාවලින් නිදහසේ උන්වහන්සේ වෙත ළඟාවීමට එය මට හැකි කර තිබෙනවා—මෙය මම අනුවණ ලෙස මඟහැර තිබුණාවූ වරප්‍රසාදයක්. මට “නියම වේලාවට කෑම” දීම සම්බන්ධයෙන් යෙහෝවඃවහන්සේට ස්තුතියි.—මතෙව් 24:45.
ඩී. ජේ. එස්., එක්සත් ජනපදය