ඔවුන් දොරින් දොරට දේශනා කරාවිද?
“පාප් රෝමයේ වීදිවලට දේශනාකරුවන්ව යවයි.” එය ග්‍රෙග් බර්ක්ගේ ප්රවෘත්ති වාර්තාවක මාතෘකාව විය. ඔහු මෙසේ ලීවේය: “එම රටේ ආගම වෙනස් කරන අයගේ සිත් දිනාගනිමින් සිටින, යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන් වැනි නිකායන්හි ආදර්ශය අනුගමනය කොට, දොරින්-දොරට දේශනා කිරීම අරඹන හැටියට ජුවාම් පාවුලු පාප් ඉතාලියේ කතෝලිකයන්ගෙන් ඉල්ලා තිබේ.
“‘දැන් සුවිශේෂය ගැන ලජ්ජා වීමට කාලය නොවේ, එය වහලවල් මුදුනේ සිට දේශනා කළ යුතු කාලයයි,’ යනුවෙන් සඳුදා දින පාප් කියා සිටියේ සංචාරක දේශනාකරුවන් හා ආගම උගන්වන ගුරුවරුන් 350දෙනෙකුටය. . . .
“‘වීදිවල සුවිශේෂය ප්‍රකාශ කිරීමට වූ ඔබගේ ව්‍යාපාරය . . . බොහෝ ඵල දරනු ඇතැයි මම බලාපොරොත්තු වෙමි’ යි ඔහු ඔවුන්ට පැවසුවේය. ‘ඔබ නැවතත් සොයාගෙන ඇත්තේ ඇදහිල්ලෙන් ඉවත්ව ගොස් සිටින අයව පවා ආකර්ෂණය කරන්නාවූ දේශනා විලාසයකි.’”
වාර්තාකරු බර්ක් මෙසේ සඳහන් කළේය: “පසුගිය දශක දෙක තුළ ඉතාලියේ කතෝලික සභාවේ පැමිණීම තියුණු ලෙස පහත වැටී ඇති අතර, දොරින්-දොරට දේශනා කරන්නන් සඳහා පාප්ගේ උද්යෝගයෙන් පෙන්වන්නේ, එහි බලපෑමේ හීනවීමට මෙය අඩුතරමින් යම් ප්‍රමාණයක ප්‍රතිචාරයක් බවය.”
“දොරින්-දොරට දේශනා කිරීමට පටන්ගැනීම” සඳහා වූ එවන් දිරිගැන්වීම සම්පූර්ණයෙන්ම අලුත් යමක් නොවෙයි. කලින් සිටි පාප්වරයෙක්, එනම් VIවන පාවුල් පැවසුවේ, කතෝලික පල්ලිය “පිහිටුවා ඇත්තේ ධර්මදූත සේවය කිරීමටයි,” යනුවෙනි. එමෙන්ම වත්මන් පාප් වන, IIවන ජුවාම් පාවුල් රෙඩෙම්ටොරිස් මිස්යෝ යනුවෙන් හඳුන්වනු ලබන ඔහුගේ පොදු ලිපිය 1991දී ඉදිරිපත් කළේ, ප්‍රසිද්ධව දේශනා කිරීම සඳහා වූ යේසුස්වහන්සේගේ ආඥාව ඉටු කිරීම සඳහා තිබෙන අවශ්‍යතාව ගැන පල්ලිය අවදි කිරීමටය.
රෝමානු කතෝලික ලේඛක පීටර් හර්නන් ලන්ඩන් කැතලික් හෙරල්ඩ්හි මෙම ප්රශ්නය ඉදිරිපත් කළේය: “ධර්මදූත සේවයට සිදුවුණේ කුමක්ද?” ඔහුගේ සැලකිල්ල යොමුවූයේ, දැනට වසර ගණනාවක් පැරණි, බොහෝ-සේ වර්ණනා කරනු ලැබූ “ධර්මදූත දශකය” වෙතටය. ප්රගතියේ ඌනතාව සම්බන්ධයෙන් ඔහු නායක දේවගැති තැනගෙන් විමසූ විට, එම නායක දේවගැති තැන මෙසේ ප්‍රතිචාරය දැක්වූයේය: “හදිසිවීම සුදුසු නැත. පල්ලිය පිහිටුවා දැන් වසර 2000ක් පමණයි.”
“අවට පිහිටි ගම්වලට ගොස් ශුභාරංචිය දේශනා කිරීමට යේසුස්වහන්සේ සිය ගෝලයන්ව පිටත් කළ අවස්ථාවේදී, එසේත් නැතහොත්: ‘ශුභාරංචිය දේශනා නොකළොත් මට දුක්වේ! (1 කොරි 9:16)’ යනුවෙන් සාන්ත පාවුල් පැවසූ විට හෙළි වූ හදිසිතාවට සිදුවී තිබෙන්නේ කුමක්ද?” යනුවෙන් හර්නන් ඇසීම පුදුමයක් නොවෙයි. ඇත්තවශයෙන්ම, ප්රසිද්ධියේද “ගෙයින් ගෙටද” දේශනා කළ මුල් ක්‍රිස්තියානීන්ව කතෝලිකයන් විසින් අනුකරණය කරනු ලැබේවීද?—ක්‍රියා 5:42; 20:20.
දොරින්-දොරට ධර්මදූත සේවය කරගෙන යෑම සම්බන්ධයෙන් ගත් කල, “‘අවිනිශ්චිතයි, ප්‍රායෝගික නැහැ’ යයි සැක කරන්නන් මුමුණනවා” ඔහුට ඇසෙන බව හර්නන් පිළිගනියි. “එසේ බව කිව නොහැක,” යනුවෙන් ඔහු ප්‍රතිචාරය දක්වයි. “එම ප්‍රකාශය යුක්තිසහගත කිරීම සඳහා නරක වචනයක් භාවිත කිරීමට මට සිදුවේ. එය නරක වචනයක් යයි මා දන්නේ කෙසේදයත් කතෝලික ලිපියක මා එය භාවිත කළ අන්තිම අවස්ථාවේදී, (වෙන කිසිවක් වෙනස් කරනු නොලැබුවත්) එම සම්පූර්ණ කොටසම ඉවත් කරනු ලැබුවා. එම වචනය නම් යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන්ය. . . . ඔහුගේ කැඳවීමෙන්ම, ඔහු අනිවාර්යයෙන්ම මිෂනාරිවරයෙකු බව සෑම සාක්ෂිකරුවෙකුටම උගන්වනු ලැබේ.”
යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන්ගේ විශ්වාසයන්ට හර්නන් එකඟ නොවුවත්, ඔවුන්ගේ දේශනා කිරීමේ ක්‍රම කෙනෙකු සලකා බලන විට, “ප්‍රේරිතයන්ගේ ක්‍රියාවලින් ප්රකාශවන පරිදි පුරාණ සභාව පහසුවෙන් සිහියට නැඟෙන” බව ඒත්තු ගනියි.
යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන් දොරින්-දොරට වූ ඔවුන්ගේ ජ්වලිත දේවසේවය දිගටම කරමින් සිටින අතර, එමගින් මෙම නවීන දිනවල යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ මෙම ආඥාව ඔවුහු ඉටු කරති: “නුඹලා . . . පොළොවේ සීමාව දක්වාද මාගේ සාක්ෂිකාරයෝ වන්නහුය.”—ක්‍රියා 1:8. g95 2/22