1අ දෙවිගේ නාමය
“යෙහෝවා” යන දෙවිගේ නාමය (හෙබ්‍රෙව්, יהוה, ය් හ් ව් හ්) මුල් වතාවට සඳහන් වන්නේ උත් 2:4හිය. දෙවිගේ නාමයට සුවිශේෂ අර්ථයක් ඇත. එයින් කියාපාන්නේ යෙහෝවා දෙවි තමන් අරමුණු කරන දේ ඉටු කිරීමට ඉතා ක්‍රියාශීලීව කටයුතු කරන බවයි. එමනිසා ඔහු තම පොරොන්දු අනිවාර්යයෙන්ම ඉටු කරන කෙනෙකු බව පැහැදිලිය.
ශුද්ධ ලියවිල්ලේ ශ්‍රේෂ්ඨ කර්තෘ වන දෙවිට කරන ලොකුම අගෞරවය වන්නේ ඔහුගේ එම අද්විතීය නාමය ශුද්ධ ලියවිල්ලෙන් ඉවත් කිරීමය. නූතන පරිවර්තකයන් බොහෝදෙනෙකු විසින් එම වරද සිදු කර ඇත. එම නාමය මුල් හෙබ්‍රෙව් ලියවිල්ලෙහි יהוה (ය් හ් ව් හ්) යන හෙබ්‍රෙව් අකුරුවලින් 6,828 වාරයක් සඳහන් වේ. මුල් පිටපත්වල අනුගමනය කළ ප්‍රමිතියටම ඇලී සිටිමින් මෙම පරිවර්තනයේද “යෙහෝවා” යන නාමය භාවිත කෙරේ. දෙවිගේ නාමය වෙනුවට “ස්වාමීන්වහන්සේ” හෝ “දෙවියන්වහන්සේ” වැනි යෙදුම් මෙහි භාවිත කර නැත්තේ එමනිසාය.
මුල් හෙබ්‍රෙව් පිටපත්වල දෙවිගේ නාමය සඳහා භාවිත කර ඇති හෙබ්‍රෙව් අක්ෂර හතර 6,828 වාරයක් දක්නට ලැබේ. ඊට “යෙහෝවා” යන නාමය යොදාගෙන සාදා ඇති තවත් නම් තුනක්ද ඇතුළත් වන අතර, (උත් 22:14; නික් 17:15; විනි 6:24) ගීතාවලිය පොතේ ගීතිකා කිහිපයක ඇති පෙර පදවල එම නාමය සඳහන් වන වාර හයද ඇතුළත්ය. (7, 18 [තුන් වාරයක්], 36, 102) මුල් හෙබ්‍රෙව් පිටපත්වල 6,828 වාරයක් සඳහන් වී ඇති “යෙහෝවා” යන නාමය මෙම පරිවර්තනයේද එම ස්ථානවලම සඳහන් වී ඇත. එය දක්නට නොලැබෙන්නේ විනි 19:18 යන පදයේ පමණි. ඇතැම්විට හෙබ්‍රෙව් පිටපත්වල එම නාමය එතැන යොදා තිබුණේ වැරදීමකින් විය හැක. මීට අමතරව මෙම පරිවර්තනයේ ද්වි 30:16, 2සාමු 15:20 සහ 2ලේක 3:1 යන පදවලද දෙවිගේ නාමය ඇතුළත් කර ඇත. ග්‍රීක සෙප්ටුඅජින්ට් පරිවර්තනයේ පිටපත් කිහිපයක් ඊට පදනම සපයයි. එලෙසම මෙම පරිවර්තනයේ යෙසා 34:16 සහ සෙක 6:8 යන පදවල “මා” වෙනුවට “යෙහෝවා” ලෙස නිවැරදිව යොදා ඇත. පුරාණයේ හෙබ්‍රෙව් ලියවිල්ල පිටපත් කළ සොෆරිම්වරුන් දෙවිගේ නාමය සඳහා භාවිත කළ හෙබ්‍රෙව් අක්ෂර හතර වෙනුවට ස්වාමීන් හෝ දෙවි ඇතුළත් කළ ස්ථාන 141ක් හෙබ්‍රෙව් ලියවිල්ලෙහි ඇත. මෙම පරිවර්තනයේ එම ස්ථානවලද “යෙහෝවා” යනුවෙන් සඳහන් කර තිබේ. ඒ අනුව මෙම පරිවර්තනයට ඇතුළත් හෙබ්‍රෙව් ලියවිලිවල “යෙහෝවා” යන නාමය 6,973 වාරයක් සඳහන් වී ඇත.
ක්‍රිස්තියානි ග්‍රීක ලියවිල්ලෙහි දෙවිගේ නාමය ඇතුළත් කළ යුතු ස්ථාන ගැන තීරණය කර ඇත්තේ ඉතා කල්පනාකාරීවය. එයට හේතුව වන්නේ මුල් පිටපත්වල නොමැති දේවල් ඇතුළත් කිරීම විශ්වාසවන්ත පරිවර්තකයෙකුගේ ලක්ෂණයක් නොවන නිසාය. එමනිසා දෙවිගේ නාමය ඇතුළත් කළ යුතු ස්ථාන තීරණය කර තිබෙන්නේ හෙබ්‍රෙව් ලියවිල්ලෙන් ඒ සඳහා පදනමක් ලබා දී ඇත්නම් පමණි. එලෙසම ක්‍රිස්තියානි ග්‍රීක ලියවිල්ලේ හෙබ්‍රෙව් පරිවර්තනවල දෙවිගේ නාමය සඳහන් අවස්ථාද පදනමක් ලෙස භාවිත කර ඇත.
දෙවිගේ නාමය සඳහා භාවිත කර ඇති හෙබ්‍රෙව් අක්ෂර හතර හෙබ්‍රෙව් පිටපත්වල පමණක් නොව ග්‍රීක සෙප්ටුඅජින්ට් පරිවර්තනයේද ඒ අයුරින්ම ඇතුළත් කර ඇත. එමනිසා යේසුස් සහ ඔහුගේ ගෝලයන් හෙබ්‍රෙව් බසින් හෝ ග්‍රීක බසින් ශුද්ධ ලියවිල්ල කියෙවූ අවස්ථාවලදී එම නාමය ඒ පිටපත්වල දැකගැනීමට ඔවුන්ට හැකි විය. නිදසුනකට යේසුස් නාසරෙත් නුවරේ සිනගෝගයකට ගොස් එහිදී යෙසායාගේ ලියවිල්ලේ 61:1, 2 යන පද කියවන විට ඔහු දෙවිගේ නාමයද ශබ්ද නඟා පැවසුවේය. තම පියා වන යෙහෝවා දෙවිගේ නාමය ප්‍රසිද්ධ කිරීමට යේසුස්ට තිබූ දැඩි ආශාව පසු අවස්ථාවක තම පියාණන්ට යාච්ඤා කරන විට ඔහු පැවසූ දෙයින්ද තහවුරු වේ. ඔහු පැවසුවේ මෙයයි. “ඔබ ලෝකයෙන් මට භාර දුන් මිනිසුන්ට මම ඔබේ නාමය ප්‍රකාශ කළා. . . . මම ඔබේ නාමය ගැන ඔවුන්ට දැනුම් දුන්නා. ඒ ගැන ඉදිරියටත් දැනුම් දෙනවා.”—යොහ 17:6, 26.
ඒ අනුව මෙම පරිවර්තනයට ඇතුළත් ක්‍රිස්තියානි ග්‍රීක ලියවිල්ලෙහි දෙවිගේ නාමය 237 වාරයක් සඳහන් වේ. ඒ සෑම අවස්ථාවක්ම නිවැරදි බව හෙබ්‍රෙව් බසින් ඇති පරිවර්තන කිහිපයක්ම සාක්ෂි සපයයි.